බ්ලොග් අඩවියක්/සිත් සටහනක් කුමකටද?
අපි සිත් සටහන් තබන්නේ ඇයි?
දහසකුත් එකක් දෙනා විශාල කැපවීමකින් යුතුව, වෙනත් “ප්‍රයෝජනවත්” වැඩක් කරන්නට තිබෙන කාලය මිඩංගු කරමින්, බ්ලොග් ලිවීමේ නිරත වෙන්නේ ඇයි?
ඔබ සැමගේ හේතු කෙසේ වෙතත්, මම මේ පැණය මගෙන්ම අසා ගත්තා…
මගේ හේතුව බොහොම සරළ එකක්:
සෑම මිනිසෙකුම මෙන් මමත් ස්වයං ප්‍රකාශණයට කැමතියි. මගේ අදහස් සිත් සටහනක ලිවීමෙන් ඒ අදහස් මගේම පමණක් නොවී අන් සිත් වලත් සැරි සරනවා- තවත් අදහස් සමඟ මුසුවීමෙන් පෝෂණය වෙනවා. මගේ විශ්වාසය, එසේ වීමෙන් පුද්ගලයකු ලෙස මගේ වර්ධනයට ද, මාත් සමඟම අන් අයගේ වර්ධනයට ද හේතුවන බවයි.
මම බ්ලොග් අඩවියක සිත් සටහන් ලියන්නේ එනිසායි !
මේ බ්ලොග් අඩවිය ගැන පොඩි සටහනක් …
මෙය මා ඇරඹුවේ 2007 දෙසැම්බර 2 වැනි ඉරිදා. 4 වැනි අඟහරුවාදා වන විට 450 වතාවකට වැඩි වතාවක් අන් අය මේ අඩවියට පිවිසී තිබෙනවා.
සමහරවිට, “මගේ අළුත් බ්ලොග් අඩවිය” බලන්න කියා කියා මගේ මිතුරන්ට කරදර කිරීම මේකට එක හේතුවක් වෙන්න ඇති ![]()
කොහොම වෙතත් “පිවිසුම් ගණකයේ” අගය එකින් එක ඉහල නගින විට, ඔබ සැම මේ අඩවියේ සටහන් කල හා පෞද්ගලිකව එවූ ප්‍රකාශ කියවන විට, මා වින්දේ අප්‍රමාන සතුටක්…
ස්තූතියි.
අපි සිත් සටහන් තබන්නේ ඇයි?
නාලක මේ ගැන කියද්දි මම කල්පනා කළේ අපි සිත් සටහන් තබනවාද ?
අපේ මිනිස්සුන්ගෙන් කීදෙනෙකුට තමන්ගේ සිතේ තියෙන දේ වචන වලට හැරවිය හැකිද?
මට හිතෙන්නේ අපේ සමාජයේ සිටින ගොඩක් දෙනෙකු හිත ලියන්න ගියහම වචන නැහැ.
ඒක ගලප ගන්න බැහැ. හරියටම හිතේ තියෙන දේ තෝරා බේරා ගන්න බැහැ.
මේ නිසාම තවමත් මේ සිත් සටහන තුල හරවත් සංවාදයක් මතු වුනේ නැහැ.
හැමෝම මෙක නරඹල හොද වැඩක්, නියමයි, ජයවේවා කියල එලියට යනව. හරවත් එකතු කිරීමක් කළේ නැහැ.
මම හිතන්නේ මේ තත්වය වෙනස් වෙන්න ඕන කියලයි.
තාමත් මේ සිත් සටහන අලුත් නෙ. ගොඩක් අය දන්නෙ නැහැ මම මොනවගේ ඒවා ලියාවිද කියලා. ඉතින් ඒ ගොල්ල බලා ඉන්නවා අඩවිය යන්නේ කොයි අතටද කියලා.
දැනට පිළිතුරු සටහන් (කොමෙන්ට්ස්) තියපු හැමෝම වගේ මාව හොදින් පෞද්ගලිකව දන්න අය.
හරවත් දෙයක් කෙරෙනවා කියලා තේරුනොත් තව අය සහභාගි වේවි.
තවත් ගැටලුවක් තමයි වෙලාව අඩුකම- අද සමාජය බොහොම අතිධාවනකාරියි නොවැ.
“සමාජයේ සිටින ගොඩක් දෙනෙකු හිත ලියන්න ගියහම වචන නැහැ” කියන කතාව ට මාත් එකඟයි. ඒත් ඉතින් යම් සංවාදයක් කරගෙන යනකොට ඒකට එකතු වෙන්න, තමන්ගේ අදහස් එකතු කරන්න බොහෝ අය කැමතියි.