සිතිවිලි (Sithiwili)

ජයමංගලානී…

Posted in සිතිවිලි by Nalaka(නාලක) on May 26, 2008

පෝරුවේභාවුන් සහස්ස මබිනිම් – මිථසා යුදන්ථන් …
ගිරිමේඛලන් උදිත ඝෝර – සසේන මාරං …
ධානාදි ධම්ම විදිනා – ජිතවා මුනින්දෝ …
තන්තේජසා භවතු තේ – ජයමංගලානී….

ගාථා කොපමණ තිබුනත් මම හැමදාමත් ආසම ආස කලේ ඒ ගාථා පෙලට … සමහරවිට ඒ ජයමංගල ගාථා ගායනා කෙරෙන තාලය හා විලාසය නිසා වෙන්නැති.

හැබැයි පහුගිය මාසයේ, ඒ කියන්නේ අප්‍රේල් 25 වැනිදානම් මම ඒ ගාථා අහගෙන හිටියෙ වෙනදාට වඩා වෙනස් හැගීමකින්. මොකද මම වෙනදා ඉන්න තැන නෙවේ එදා හිටියේ-
තරමක් උඩින්, වෙනදට අදින්නෙ නැති මාදිලියේ ඇදුමකුත් ඇදගෙන …

ප්‍රාර්ථනා පස්සෙ කීවා එයාට එතනට වටේ ඉන්න හැමෝම හොදට පෙනුනලු- ඉතින් හොදට කට්ටිය අපි දිහා බලන හැටි බල බල හිටියලු ..
මට නම් අවට සිරිනරබන්න තරම් ‍සිහියක් තිබුනෙ නැහැ- මහා සම්මත රජ්ජුරුවන්ගේ දෝනියැන්දෑගේ මනමාලයාගේ ඉදන් ආපු මනමාල සනුහරේම වගේ මගේ හිතෙත් තිබුනේ බහින්නෙ කොයිවෙලේද වගේ ගැටළු තමයි ….

දැන් ඉතින් මාසෙකුත් ගියා- ෆෝර්ම පුරවනකොට මතක් කරලා ‍‍”විවාහක” කියලා දාන්න ඕනා… :)

ඇවිත්, දුරකථනයෙන්, විදුලි තැපෑලෙන් … සුභ පතපු අවවාද දුන් හැමෝටම පින්.

“නිදහස් අධ්‍යාපනය” සහ “‍නොමිලේ අධ්‍යාපනය”

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 22, 2007

ed2.gifමම බස් එකක.
කොළඹ කොටු‍ව දුම්රිය පොළ ලගින් ගොඩවුණා තරුණ පහේ ළමයි කීප දෙනෙක්- ගැහැණු ළමයින් දෙන්නෙකුත්, පිරිමි ළමයෙකුත්.

කණ්ඩා‍යමේ නායකයා උස් හඩින් පටන් ගත්තා, “ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය …”

කට්ටිය විශ්ව විද්‍යාලයකින්, කතාවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් වගේ. අපෙන් ඉල්ලා හිටියා නිදහස් අධ්‍යාපනය සුරකින්න උදව් කරන්නයි කියලා …
ඔහු කියන විදියට තර්ජනය තිබෙන්නේ පෞද්ගලික වි‍ශ්ව විද්‍යාල වලින්. සමහර ශිෂ්‍යයන් “A” සාමාර්ථ තුනක් අරගෙනත් ජාතික විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරිව ඉදිද්දී “පොහොසතුන්ගේ දරුවන්”‍ යන්තම් උසස් පෙළ සමත් වෙලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධි අරගන්නා බවත්, ඔවුන් අපේ ජාතික විශ්ව විද්‍යාල ‍වලින් එලියට එන දරුවන්ගේ රැකියා අවස්ථා පැහැරගන්නා බවත් ඔහු කීවා.

ඔහුට අනුව නිදහස් අධ්‍යාපනය සුරකින්න නම් පෞද්ගලික වි‍ශ්ව විද්‍යාල තහනම් කළ යුතුයි!!!!

වර්තමාන හා අනාගත ලංකා දූ පුතුන් වෙනුවෙන් ඔවුන් ගෙන යන අරගලයට ආධාර දෙන්නයි ඔහු බසයේ සිටි අයගෙන් ඉල්ලා සිටි‍යේ.
ඉල්ලුවේ පොඩි උදව්වක්- රුපියල් දහයේ ස්ටිකර් එකක් ගන්න කියලා.

මාත් ගත්තා එකක්, ඔවුන් කී කරුණු වලට එකග වූ නිසා නොවේ, මාත් කලකට පෙර සරසවි සිසුවෙක් ව සිටි නිසා.
සිතන්ට යමක් ඉතිරි කර ඔවුන් බසයෙන් බැස ගියා…

“නිදහස් අධ්‍යාපනය” කියන්නේත් “‍නොමිලේ අධ්‍යාපනය” කියන්නෙත් එකක්මද?

සම්පූර්ණ ලිපිය කියවන්න …

වට රවුම

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 10, 2007

ටික කාලයකට කලින් ඉරිදා දිව‍යනේ පළවුන “වට රවුම” තීරු ලිපිය මතකද?
එදිනෙදා ජීවිතයේ දී සාමාන්‍ය මිනිස්සුන්ගේ මනුස්සකම ගැන ආදරණීය ලෙස ලියවුන ලිපි පෙලක් එය.

පහුගිය වසරවල ඒ තේමාව යටතේ ලියවුන තවත් තීරු ලිපි කීපයක් පුවත් පත් හා සඟරා වල පළවුනත් මට හිතෙන්නේ ඒ ප්‍රමාණය හොදටම මදි කියලයි. අපේ මාධ්‍ය අපට පොවන අසුන්දර පුවත් සහ ඕපාදූප අතරේ සුළුවට ඉදිරිපත් කරන මේ සුන්දර පුවත් ගිලී මිලින වෙලා යනවා …

සාමාන්‍ය ජීවිතයේ දී මිනිසුන්ගේ මනුස්සකම ගැන කතා වැඩිපුර අහන්න, දකින්න ලැබෙන විට, හොද ක්‍රියා‍වන් කැපවීම් සමාජයේ ඇගයෙන විට, අපිත් අපේ ජීවිතයේ එබදු අවස්ථාවක හොද දේම කරන්නට පෙළබෙනවා නේද?

එසේ හොද දේ කිරීමට දිරි දීම වඩාත් ධාර්මික සමාජයක් කරා අප යන ගමනට අත් වැලක්.

උපන්දින සිතිවිල්ලක්

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 8, 2007

Happy birthdayමම මේ පොළොවෙ පය ගහලා අදට වසර 31 ක් …

දන්නෙම නැතුව කාලය ගතවී ගොහින්. වගක් නැතිව කෙළිදෙලෙන් හිටි ළදරු කාලය, සුන්දර පාසල් කාලය, විශ්ව විද්‍යාල ජීවිතය, කාර්යාල සේවය: මේ සියල්ල නාට්‍යයක ජවනිකා වගේ මා පසු කර ගිහින්…

කවදාවත් උපන් දින වැඩි විශේෂත්වයකින් සැලකූ කෙනෙක් නොවේ මම. ඒත් උපන් දිනය කියන්නේ ජීවිතයේ අපි ඉන්න තැන ගැන මදකට නැවතිලා හිතා බලන්න අවස්ථාවක් ලෙස මම සලකනවා. ජීවිතයේ මෙතෙක් කළ නොකළ හා ඉදිරියට කළයුතු දේ ගැන මෙනෙහි කරන්න මේ අවස්ථාවක්.

අපි හැමදාමත් මෙතන ඉන්නේ නැහැ. අද හෝ දශක කීපයකින් හෝ අප කාගේත් ආයු හමාර වෙනවා. ඉන් පස්සෙ වෙන හෝ නොවෙන දේ ගැන අපි මොනවා විශ්වාස කලත් මම හිතන්නේ අපි හැමෝම එක දෙයක් ගැන එකඟ වෙනවා; ජී‍වත් වෙලා ඉන්න කාලය ඉතා වැදගත් බව. අනිවාර්යයෙන් ම අපි ලද මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි!

Tagged with:

බ්ලොග් අඩවියක්/සිත් සටහනක් කුමකටද?

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 5, 2007

අපි සිත් සටහන් තබන්නේ ඇයි?
දහසකුත් එකක් දෙනා වි‍ශාල කැපවීමකින් යුතුව, වෙනත් “ප්‍රයෝජනවත්” වැඩක් කරන්නට තිබෙන කාලය මිඩංගු කරමින්, බ්ලොග් ලිවීමේ නිරත වෙන්නේ ඇයි?
ඔබ සැමගේ හේතු කෙසේ වෙතත්, මම මේ පැණය මගෙන්ම අසා ගත්තා…

මගේ හේතුව බොහොම සරළ එකක්:

සෑම මිනිසෙකු‍ම මෙන් මමත් ස්වයං ප්‍රකාශණයට කැමතියි. මගේ අදහස් සිත් සටහනක ලිවීමෙන් ඒ අදහස් මගේම පමණක් නොවී අන් සිත් වලත් සැරි සරනවා- තවත් අදහස් සමඟ මුසුවීමෙන් පෝෂණය වෙනවා. මගේ විශ්වාසය, එසේ වීමෙන් පුද්ගලයකු ‍ලෙස මගේ වර්ධනයට ද, මාත් සමඟම අන් අයගේ වර්ධනයට ද හේතුවන බවයි.
මම බ්ලොග් අඩවියක සිත් සටහන් ලියන්නේ එනිසායි !

මේ බ්ලොග් අඩවිය ගැන පොඩි සටහනක් …
මෙය මා ඇරඹුවේ 2007 දෙසැම්බර 2 වැනි ඉරිදා. 4 ‍වැනි අඟහරුවාදා වන විට 450 වතාවකට වැඩි වතාවක් අන් අය මේ අඩවියට පිවිසී තිබෙනවා.
සමහරවිට, “මගේ අළුත් බ්ලොග් අඩවිය” බලන්න කියා කියා මගේ මිතුරන්ට කරදර කිරීම මේකට එක හේතුවක් වෙන්න ඇති :)
කොහොම වෙතත් “පිවිසුම් ගණකයේ” අගය එකින් එක ඉහල නගින විට, ඔබ සැම මේ අඩවියේ ස‍ටහන් කල හා පෞද්ගලිකව එවූ ප්‍රකාශ කියවන විට, මා වින්දේ අප්‍රමාන සතුටක්…

ස්තූතියි.

ආයු‍බෝවන්

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 2, 2007

මම නාලක- මේ මගේ සිත් සටහනයි.
ලස්සන ලංකාවෙ තවත් එක් පුරවැසියෙක් ලෙස  ජීවිතය දකින මම, මගේ සිතිවිලි මෙතන සටහන් කරන්නයි අදහස… සම්පූර්ණ ලිපිය